ලක්ෂ 30කට විකිණීමට සැලසුම් කළ ගජමුතු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

0
56

රුපියල් ලක්ෂ 30කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අද (10) අලුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට වවුනියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරින් උපාය දූතයෙකු යොදවා අදාළ ගජමුතු මිලට ගැනීමට සැලසුම් කොට අදාළ සැකකරු වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති අතර එහිදී ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව නාමල්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර අදාළ ගජමුතු දෙක සැකකරුට ලැබුණු අයුරු පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇති බවටත් අද (10) දිනයේදී සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට වවුනියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය වැඩිදුරටත් පවසයි.

ගජමුතු අත්අඩංගුවට ගැනීම වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී ටී.එම්.එස්.එම්. තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක කෝරලගෙදර මහතාගේ නායකත්වයෙන් සිදු විය.