‘‘දැනට එජාපයේ ඉන්න සාමාජිකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරනවා‘‘

0
49

දැනට ජාතික දේශපාලනයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට. ඉදිරිපත් කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (9) කොළඹදී පැවැසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිපදෙනකුගේ නම් දැනට ඉදිරිපත් වී ඇති බවත් අත්දැකීම් බහුල සාමාජිකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවත් හෙතෙම කීය.

රුවන් විජයවර්ධන මහතා ඉදිරිපත් වන්නේ දැයි විමසූ විට තමන්ට ඒ සඳහා කාලය ඇතැයි ද තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන් පක්ෂයේ සිටින බව ද විජයවර්ධන මහතා කීවේය.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් වී ඇතැයි ද කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡා කර පරිණත අත්දැකීම් බහුල නායකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව ද ඔහු කීවේය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තවමත් කාලය තිබෙන බවත් ඒ සඳහා ඉක්මනින් පක්ෂය තුළින් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව හෙතෙම කීවේය.