ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට, බිලත් දෙන්නත් එනවද යකෝ” යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාර වරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි.
ජල බිල්පත් තොගය බැරලයට දැමීමට පෙර එයින් කීපයක් ඉරා විසි කර දමා ඇතැයි ද පොලිසිය කියයි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාර වරයෙකි.
ආදායම් සහකාර වරයා අද පෙරවරුවේ ඇරැව්වල ප්රදේශයේ ජල බිල්පත් හිමි නිවාස වලට මෙම මාසයට අදාල බිල්පත් ලබාදීමේ රාජකාරියේ යෙදී සිටියදී පහරදුන් පුද්ගලයාගේ නිවස කරා ගිය අවස්ථාවේ දී ” උඹලා වතුර කැපුවට බිලක් දෙන්නත් එනවද යකෝ” ආවේගශීලීව කෑගසමින් පා පහරක් ආදායම් සහකාර වරයාට එල්ල කර ඔහු අත දරා සිටි ජල බිල්පත් තොගය අඩංගු ෆයිල් එක උදුරාගෙන , බිල්පත් කීපයක් ඉරා විසිකර ජල බිල්පත් තොගයම නිවස ඉදිරිපිට තබා තිබූ වතුර පිරවූ ප්ලාස්ටික් බැරලයක ට ඔබා බිල්පත් අඩංගු ෆයිල් එකෙන් ද නැවතත් පහර දී තිබූ බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.
2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එම නිවෙස් හිමියා ජල බිල්පත නො ගෙවා තිබූ අතර ඒ හේතුවෙන් ඉකුත් මාසයේදී මාසයේ දී ඔහුගේ ජල සැපයුම විසන්ධි කර තිබූ බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු සහකාර දිලිනි අයේශා මහත්මිය පැවසුවාය
එම නිවෙස් හිමියා මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14000 ඉක්මවන මුදලක් ගෙවිය යුතු බවද එහි නිලධාරියෙක් කීය.
ජල සැපයුම විසන්ධි කර තිබුණද එම පුද්ගලයා අයථා මාර්ගයකින් මේ දක්වා ජලය ලබාගෙන තිබෙන බවට මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාර වරයා ඇතුළු නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එයද විසන්ධි කිරීමට එම අවස්ථාවේදීම පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.