උත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. අද 28 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
උත්තර ලංකා සභාගයේ සාමාජික පක්ෂ හතෙන් ප්‍රධාන පක්ෂයක් ලෙස සම සමාජ පක්ෂය තිබුණත් පළමු වරට පැවැත්වූ උත්තර ලංකා සභාගයේ මංගල මැතිවරණ රැස්වීමට තම පක්ෂයට ආරාධනා නොකළ බවත් එය තම පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් බව විශ්වාස කරන බවත් තිස්ස විතාරණ මහතා මෙහිදී කීය.
මෙම මංගල රැස්වීමට එක වචනයකින්වත් තමන්ට ආරාධනා නොකළ බවත් එහෙම රැස්වීමක් තිබූ බව තමන් දැන ගත්තේ අද මහනුවරට පැමිණි පසුව බවත් ඒ මහතා කීය.
උත්තර ලංකා සභාගය තුල සම සමාජ පක්ෂය විශාල වැඩ කොටසක් සිදු කරන බවත් රට විදේශිය කුමන්ත්රණවලින් ආරක්ෂා කර ගන්නට මුල සිටම ක්‍රියා කරන බවත් ප්‍රකාශ කළ තිස්ස විතාරණ මහතා එම ක්‍රියාවන්ට අකුල් හෙළන පිරිසක් තමන්ව උත්තර ලං කා සභාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත් කීය. කෙසේ වුවත් තම පක්ෂය උත්තර ලංකා සභාය සමඟ පවතින සබඳතා තර කර ගනිමන් තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඒ මහතා කීය.
“උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවා ඇති නිදහස් ජනතා සන්ධානයෙන් තරඟ කිරිම සඳහා අප ඉදිරිපත් කළ අපේකෂකයින් රැසකට අවස්ථාව ලබා දීල නෑ මේ විදිහට බලන කොට අපේ පක්ෂයට අනෙකුත් පළාත්වලත් මේ හා සමානව කැපිලි දාලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපි ඉල්ලූ අපේක්ෂකයින් තුනක් වත් ලැබුණේ නෑ. සම සමාජ පකෂයට බලය තියෙන මාතර දිස්ත්‍රික්කයෙනුත් අපේ අපේක්ෂකයින් ඉවත් කරල තියෙනවා. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ සම සමාජ පක්ෂයට විරුද්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි”