රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී සිදුව ඇතැයි වාර්තාවන අක්රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. ගොවි ජනතාවට රජය විසින් ලබා දුන් රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර වංචා කිරීම සම්බන්ධව මේවනවිට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු 50කට පමණ චෝදනා එල්ල වී ඇති බවයි.
පසුගිය යල කන්නයේ දී ගොවීන්ට වගා කටයුතු සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ දී ද මෙම නිලධාරින් විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා. වී වගා නොකරන ලද ගොවීන්ට පවා බලපත් නිකුත් කර මුදල් ලබා ගැනීම මෙන්ම ව්‍යාජ බලපත් නිකුත් කර ඉන්ධන අලෙවි කිරීම වැනි චෝදනා රැසක් මොවුන්ට එල්ල වී ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඔවුන් පිළිබඳව ද මේවනවිට විනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දිවයින පුරා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් 300කට පමණ චෝදනා එල්ල වී ඇතැයි ද අනාවරණය වී තිබෙනවා.