ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට මෙතෙක් නියමිත වන්දි මුදල් ගෙවා නොමැති බවට එම විශ්‍රාම එකමුතුව පවසයි.
එම එකමුතුව පැවසුවේ පසුගිය මාර්තු 09 වැනි දින විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග විශ්‍රාම ඉල්ලුම් කළ පිරිස් සඳහා වන්දි මුදල් ලබා දෙන බවට රජය පැවසුවද මේ වන තෙක් ඊට අදාළ වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු නොකර ඇති බවය.
අදාළ වන්දි මුදල් ගෙවීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට සඳහන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද දීර්ඝ ලිපියක් යොමු කරමින් අදාළ විශ්‍රාම එකමුතුව සඳහන් කර ඇත්තේ අදාළ වන්දි මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් ඔවුන් මේ වන විට දැඩි ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී ඇති බවය.
එමෙන්ම මේ සම්බන්ධව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙතද ලිපියක් යොමු කිරීමට පියවර ගත් බවද අදාළ සේවක පිරිස සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ එම මණ්ඩලය සමාගම් 6කට බෙදා වෙන් කෙරෙුණු අතර ඊට අනුගත නොවන සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාම යෑමට රජය විසින් අවස්ථාව ලබා දුන් අතර ඒ සඳහා උපරිම රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ප්‍රධානය කරන බවටද සඳහන් කෙරිණි.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් 2,000කට ආසන්න පිරිසක් මෙම ස්වේච්චා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ අතර ඒ අනුව පසුගිය මාර්තු 09 වැනි දිනෙන් පසුව ඔවුන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ගනු ලැබීය.

