මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ,
“පසුගිය දින දෙක පුරා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම පිළිබඳව ඉතා යහපත් හා ඵලදායී සාකච්ඡා පැවැත්වුණු බව මම සතුටින් දන්වා සිටිමි.
මෙම සතිය පුරා අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡාවල ස්වභාවය අනුව, ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කිරීමට නියමිතව තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් තබන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට (Department of War) උපදෙස් දුන්නෙමි. මෙම තීරණය දැනට පවතින රැස්වීම් සහ සාකච්ඡාවල සාර්ථකත්වය මත රඳා පවතී. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්.”
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දී තිබූ 48ක අවසාන නිවේදනය අවසන් වීමට මොහොතකට පෙර මෙම තීරණය ගැනීම නිසා කලාපයේ ඇතිවීමට ගිය මහා විනාශයක් තාවකාලිකව වැළකී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙපාර්ශවයම ගැටුමකට වඩා සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට උනන්දුවක් දක්වන බව මෙයින් පැහැදිලි වේ.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉහළ යමින් තිබූ බොරතෙල් මිල යම් මට්ටමකට ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙම දින පහක සහන කාලය තුළ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බැවින්, මුළු ලෝකයේම අවධානය දැන් මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දෙසට යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

