මැදපෙරදිග කලාපයේ ඇවිලී යන යුද ගිනි දැල් හමුවේ ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර හතරකට පසු එනම් 2022 වසරෙන් පසු ඉහළම අගය සටහන් කරමින් බොරතෙල් බැරලයකයක් ඩොලර් 119.50 දක්වා අද (09) දිනයේදී ඉහළ ගියේය.
එබැවින්, තෙල් මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ‘IEA’ සතු බැරල් බිලියන 1.2ක සමස්ත තෙල් සංචිතවලින් බැරල් මිලියන 400ක් පමණ එනම් 25% – 35%ක ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදාහැරීම පිළිබඳව G7 රටවල මුදල් අමාත්‍යවරුන් අද හදිසි සාකච්ඡාවක නිරත වීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබේ.
එම සාකච්ඡා මගින් ලබා ගන්නා විසදුම් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාම පාලනය සඳහා ලබා ගන්නා ක්ෂණික විසඳුමක් ලෙස සැළකේ.
මෙය වාර්තා වී පැය කිහිපයක් තුළ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් සහ WTI බොරතෙල් මිල යම් මට්ටමකින් පහළයාමේ තත්ත්වයක් නිරීක්ෂණය විය.
කෙසේවෙතත් තවදුරටත් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ට ආසන්න මට්ටමේ පවති.
මේ අතර, දැනටමත් අමෙරිකාව ඇතුළු G7 රටවල් තුනක් මෙම සංචිත මුදාහැරීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන් වේ.

