ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.
කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ලබා ඇති ජයග්‍රහණ ඇගයීමටත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානතාවය තහවුරු කිරීමටත් මෙම දිනය වෙන් කර ඇත.
මෙය හුදෙක් සැමරුමක් පමණක් නොව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමේ ව්‍යාපාරයක්ද වේ.
පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වන දින අමෙරිකාවේදී සමරා ඇති අතර 1910දී ජර්මානු ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් විසින් මෙය ජාත්‍යන්තර දිනයක් ලෙස යෝජනා කළ බවත් සඳහන් වේ.
පසුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් මාර්තු 08වන දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරූ බවත් වාර්තා වේ.
ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රධාන වර්ණ තුනකින් භාවිතා වන අතර දම්, කොළ සහ සුදු පැයැයෙන් එය නිරූපණය වේ.
දම් පැහැයෙන් යුක්තිය සහ ගෞරවය සංකේතවත් කරන අතර කොළ පැහැයෙන් බලාපොරොත්තුව සංකේතවත් කරයි.
එමෙන්ම සුදු පැහැයෙන් පිරිසිදු බවද සංකේතවත් කරන බවද සඳහන් වේ.
මේ අතර ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වන බවය.
ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද අතීතයකට හිමිකම් කියූ නමුත් මෙම මොහොත වන විට අවස්ථා ඉදිරියේ කාන්තාවන් ප්‍රශ්න නොකෙරෙන සමාජයක් වෙනුවෙන් සාධනීය පියවරයන් රැසක් තබා ඇති බවත් ඇය සිය සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර තිබේ.
අමාත්‍යවරියගේ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්,
ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වේ.
ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද අතීතයකට අප හිමිකම් කියුවෙමු. නමුත් මෙම මොහොත වන විට අවස්ථා ඉදිරියේ කාන්තාවක් වීම ප්‍රශ්න නොකෙරෙන සමාජයක් වෙනුවෙන් අපි සාධනීය පියවර රාශියක් තබා ඇත්තෙමු.
අද වන විට ප්‍රවාහන සහ ගමනගමන ක්ශේත්‍රය තුළ, සංචාරක සහ හෝටල් කර්මාන්තය තුළ, නිශ්පාදනීකරණය සහ සැපයුම්කරණය යන ක්ශේත්‍ර තුළ කාන්තා නියෝජනය දක්නට ලැබීම භූමි ප්‍රමාණය පරයා සමාජයීය දැක්ම පුළුල් වී ඇති බවට නිදසුනකි.
එසේ වුවද මේ පොළොව මත මුණගැසෙන බොහොමයක් කාන්තාවන් ව්‍යවසායිකාවක, සේවා සපයන්නියක, රජයේ හෝ පෞද්ගලික අංශයේ වෘත්තීන්හි නියැලෙන්නියක, විදෙස්ගත රැකියාවක නිරත වන්නියක යන කවර භූමිකාවක සිටින කාන්තාවක වුව ද දවස අවසානයේ නිවෙස් තුළ මූල්‍යමය වශයෙන් අගය නොකළ වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමයේ නිරත වන්නෝය.
ඒ අනුව කාන්තාවන්ගේ මෙම සුරැකුම් ශ්‍රමය සඳහා නිසි වටිනාකමක් ලබා දෙමින් ඇයව පවුලේ බර දරන්නියකට සීමා නොකර ඇය රටේ ආර්ථිකයේ සක්‍රීය හවුල්කාරිය බවට පත් කිරීම අප වගකීමක් සේ සළකන්නෙමු.
“පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙර මග” යන්න මෙවර ජාතික තේමාව ලෙස තෝරා ගැනෙන්නේ ද එනිසාවෙනි.
කාන්තාව නිසි ගෞරවයට පාත්‍ර වන සමාජයක් ගොඩනැගීම මගින් ඇයට තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සම අයිතිය හිමිවන බව අප විශ්වාස කරන අතර, ඒ වෙනුවෙන් වන ප්‍රතිපත්තිමය සහ ව්‍යූහාත්මක බාධා ඉවත් කරමින් ඇයට ලෝකය තරණය කිරීමේ නව මං පෙත් විවර කරන්නට අප බැඳී සිටින්නෙමු.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සංවර්ධනය යනුවෙන් අර්ථකතනය කරනු ලැබුවේ ආර්ථික දර්ශක ඉහළ නැංවීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවනීය ජීවිතයක් උරුම කර දීමයි.
රජයක් ලෙස අප කැප වන්නේ ග්‍රාමීය කාන්තාව හෝ නාගරික කාන්තාව ලෙස බෙදා වෙන් නොකළ අභිමානවත් ශ්‍රී ලාංකීය කාන්තාවක් ගොඩ නැගීම වෙනුවෙනි.
ආදරය, මානව දයාව සහ අන්‍යොන්‍ය ගෞරවය ගෝලීය අවශ්‍යතාවයක්ව පවතින අවස්ථාවක ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස “කාන්තාවෝ ද මනුෂ්‍යයෝය ය” උත්තරීතර දැක්ම අප හදවත් තුළ තැන්පත් කර ගැනීමටත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමටත් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය අපි අවස්ථාවක් බවට පත්කරගනිමු.

