මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි.
ඔහු පෙන්වාදෙන්නේ යුද ගැටුම් කඩිනමින් අවසන් වුව ද ඉන් සිදුවන බලපෑම් යථා තත්වයට පත්වීම සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇති බවය.
ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය විසින් කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
කටාර්හි පිහිටි අමෙරිකාවේ විශාලතම හමුදා කඳවුර වන අල් උදෙයිද් ගුවන් හමුදා කඳවුර වෙත අද දිනයේ ද ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඒවා මැඩපැවැත්වීමට කටයුතු කළ බව ද කටාර් බලධාරීන් සඳහන් කර ඇත.

