ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් යන මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) දහවල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය විසින් ඉන්දීය දූත පිරිස පිළිගනු ලැබීය.
ඒ අනුව, එම දූත පිරිස විසින් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙබරවාරි 11 වන දින නැවත ඉන්දියාවට වැඩම කෙරෙනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙබරවාරි 04 වන දා මෙරටට වැඩම කරවා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කරන ලදී.
පෙබරවාරි 05 වන දා සිට 11 වන දා දක්වා පැය 24 පුරා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.
ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කරවා නොමැති අතර, මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට හිමි වීම විශේෂත්වයකි.

