දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීම ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
එමෙන්ම ආපදාවෙන් මාසයක් ගතවීමට පෙර කැඩී බිදී ගිය පාරවල්වලින් 99%ක ප්‍රමාණයක් සාදා නිම කිරීමට සිය ආණ්ඩුවට හැකි වූ බවද එහිදී ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ පුද්ගලයින් සඳහා වසරක් ගත වීමට ප්‍රථම තමන්ගේම නිවසක් සාදා ගැනීමට උදව් කිරීම රජයේ අරමුණ වන බවය.
කෙසේවෙතත්, ගංවතුරට හසුවූ ප්‍රදේශ රැසක ජනතාව සහ ගොවීන් පෙන්වා දෙන්නේ මෙතෙක් තමන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි මුදල් නිසි ලෙස ලැබී නැති බවය.
පසුගිය ආපදාවේදී මහමන්කඩවල වැව පිටාර ගැලීම හේතුවෙන් ගංවතුරට හසුවූ තම නිවාස වෙනුවෙන් මෙතෙක් රුපියල් 25,000 වන්දිය හෝ නොලැබුණු බවට මහමන්කඩවල ගම්මානයේ ජනතාව චෝදනා කළහ.
ගංවතුර හේතුවෙන් එහි නිවාස 150කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවිය.

