ජංගම දුරකථන යෙදවුම් මඟින් ක්‍රියාත්මක කුලී රථ සේවා රියදුරන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (29) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ඒ, පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී එම රියදුරෙකුට එල්ල වූ තර්ජනය පාදක කරගනිමිනි.
ත්‍රිරෝද රථය..තුන්සක රිය, ටුක් ටුක් එහෙමත් නැතිනම් සමහර දෙනෙක් හඳුන්වන “වීල් එක”, එකීමෙකී නම්වලින් හඳුන්වන මෙම ත්‍රිරෝද රථය මේ වනවිට මගීන්ට නැතිවම බැරි ගමන් සගයෙකි.
අඩු මුදලකට ඕනෑම තැනකට පහසුවෙන් යා හැකි වීම වැනි පහසුකම් නිසා බොහෝ දෙනෙක් මේ සේවාව ලබාගනී.
ත්‍රිරෝද රථ සේවාව රටේ සුවහසක් දෙනෙකුට රැකියා අවස්ථාත් නිර්මාණය කර දුන්නේය.
මගියාට නැතිවම බැරි ගමන් සගයෙක්ව සිටි ගමේ හන්දියේ හිතමිතුරු ත්‍රිරෝද රථය පසු කාලීනව මගීන්ටම අප්‍රසන්න වූයේ එය මගීන් සූරාකන මාෆියාවක් බවට පත්වීම හේතුවෙනි.
හිතූ හිතූ ලෙස අයකරගන්නා ගාස්තු, එකින් එකට වෙනස් ලෙස කැරකෙන ගාස්තු මීටර් මීට ප්‍රධානම හේතුව වුණි.
දිනෙන් දින ත්‍රිරෝද රථ මගීන්ට අප්‍රිය වෙද්දී ශ්‍රී ලංකාවටත් pickme,Uber ඇතුළු කුලී ගමන් සේවා ලොව ප්‍රසිද්ධ සන්නාම කිහිපයක් පැමිණියේ මගීන්ට සාධාරණ ගාස්තුවකට, ආරක්ෂිත හා කාර්යක්ෂම ගමන් සේවා ලබාදෙමිනි.
කොළඹ, මහනුවර සහ තවත් නගර රැසක මගීන් අතර මෙම සේවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර ජංගම දුරකථන යෙදවුම් හරහා පහසුවෙන් ලබාගත හැකිවීම වැනි කරුණු නිසා එය මගීන් අතර ජනප්‍රිය වුණි.
මේ අතර ඉන් දැඩි බලපෑමක් එල්ලවූයේ ජනතා චෝදනාවලට ලක්වූ අසාධාරණ ත්‍රිරෝද රථ මාෆියාවටයි.
එම නිසා කුලී ගමන් සේවා ත්‍රිරෝද රථවලට ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, පහරදීම් වැනි අනීතික ක්‍රියා සිදුකළ අවස්ථා රැසක් වාර්තාවුණි.
මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් පවා මින් අපහසුතාවයට පත්වුණු අවස්ථා ඕනෑතරම්.
මේ අතර මේ වනවිට ජංගම දුරකථන යෙදවුම් මඟින් ක්‍රියාත්මක කුලී මගී ප්‍රවාහන සේවාවලට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ත්‍රිරෝද රථ රියදුරන් විරෝධය පළ කරයි.
ඔවුන් පවසන්නේ ඒවායේ ගාස්තු අඩුවීම නිසා තම ජීවිනෝපායට තර්ජන එල්ල වී ඇති බවය.
මෙවන් පසුබිමක ජංගම දුරකථන යෙදවුම් මඟින් ක්‍රියාත්මක මගී ප්‍රවාහන සේවාවල නිරත රියදුරන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද පැමිණියේය.
කෙසේ වෙතත්, මගීන් තවදුරටත් පවසන්නේ තමන්ව දැඩි ලෙස සූරාකන ත්‍රිරෝද රථ මාෆියාවලට හසුවීමට අවැසි නොවන අතර ආයතනගත ප්‍රවාහන සේවා වෙතම යොමුවීමට තමන් ක්‍රියාකරන බවයි.
සාධාරණ ගාස්තුවකට කාර්යක්ෂම සේවා සපයන ආයතන වෙත මගීන් දිනෙන් දින නැඹුරු වෙද්දී සෙසු ත්‍රිරෝද රථ රියදුරන් සිදුකළ යුත්තේ එම ත්‍රිරෝද රථවලට මඟ රැක සිට පහරදීමද, නැතිනම් ඒ හා සමාන ගුණාත්මක සේවාවක් සාධාරණ ගාස්තුවකට ලබාදී ජනතා කැමැත්ත දිනාගැනීම නොවේදැයි මගීන් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ප්‍රශ්න කරයි.

