ඇති වූ ආපදා තත්ත්වයෙන් පසුව බස් රථ 4,000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඉන් 2,500කට ආසන්න බස් රථ ප්‍රමාණයක් දුර ගමන් ධාවනය සඳහා සැලසුම් කර ඇති බවත් පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් අඩාළ වූ දුම්රිය ධාවනය වෙනුවෙන්ද විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කළ බව ද එහි සභාපති සජීව කනකරත්න මහතා පැවැසීය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වූ බවද හෙතෙම පැවැසීය.
එසේම ලංගම ආසන වෙන්කිරීමේ සේවාව සිදුකරන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000ක් සිටින බවත් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් තමන්ට කැමැති වෙනත් දිනයක ආසනයක් ලබාගැනීමේ හැකියාව පවතින බවත් එහි කාර්යභාර නිලධාරි විමල් සිරිවර්ධන මහතා පැවැසීය.
ඒ වෙනුවෙන් 1315 අංකය හෝ 070 3110 506 අංකය අමතා වෙනත් පහසු දිනයක් ලබාගන්නා ලෙසත් කිසිදු ගාස්තු අයකිරීමක් ඒ සඳහා නොවන බවත් කාර්යභාර නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට නුවරඑළිය, නාවලපිටිය, 87 මාර්ගය යාපනය, වලපනේ, මුතූර්, බිබිල යන ගමනාන්ත වෙත බස් රථ ධාවනය නොවන බවත් සෙසු ගමනාන්ත වෙත බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවත් ආසන වෙන්කිරීමේ හැකියාවද පවතින බවත් හෙතෙම පැවැසීය.

