දිවයිනේ පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර ත්ත්වයන් සමග සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඒ අනුව අනිවාර්ය රක්ෂණයට අදාළ බෝගයන් වන වී, බඩඉරිඟු, ලොකුලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන්වලට සිදුව ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබා දීමට නියමිත බවය.
දැනට පවතින තත්ත්වය යටතේ ඉහත වගාවන් සඳහා සිදුවූ හානි සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බැවින් ගංවතුර බැසගිය වහාම ගොවිජන සේවා මධ්‍යස්ථානයන් හී ඇති හානි දැනුම්දීමේ පොත්වල සිදුව ඇති හානිය පිළිබඳව හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහතා දැනුවත් කරන මෙන් එම මණ්ඩලය ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
තවද සෙසු වගාවන්ට සිදුව ඇති හානි සම්බන්ධවද වගාව පිහිටි ස්ථානයට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන හානි වාර්තා කිරීමේ පොත්වල සටහන් කළ යුතු බවත් මීට අමතරව හානි දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා ගැටළු සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංක වන 1928 මගින්ද ගොවීන්ට පහසුකම් සලසා ඇතැයිද එම නිවේදනයේ සඳහන්ව ඇත.
මෙම හානි සඳහා වන්දි ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව සිදුකරන බවත් කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

