ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කරන ලෙස බලධාරීන්ට කරන බලපෑම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තෙවැනි අදියර වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණ වී සිටින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාවලිය තුළ ජනතාව අපහසුතාවට පත්කිරීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමේ කිසිඳු අදහසක් නොමැති බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු සමන් ඉලුක්තැන්න මහතා මාධ්‍ය කළ විමසුමකදී පැවසීය.
බලධාරීන් ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි ආකාරයට කරනු ඇතැයි තව දුරටත් විශ්වාස කරන බව කී ඉලුක්තැන්න මහතා වැඩ වර්ජනයක් දක්වා යෑමට කිසිඳු අදහසක් නොමැති බව ද සඳහන් කළේය.
බලශක්ති අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, පීඑස්ආර්එස් නිලධාරීන්, ලංකා විදුලිබල මණ්ඩයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා යන පාර්ශව සමඟ කිසිඳු සම්බන්ධතාවක් නොපැවැත්වීමට සහ රැස්වීවලට සහභාගි නොවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 6 වැනිදා සිට ක්‍රියාත්මක කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ මෙම ගැටලුව වැඩවර්ජයකට ගොස් විසදාගැනීමට තරම් විශාල ගැටලුවක් නොවන බවත් ඒ හේතුවෙන් වැඩවර්ජනයකින් අවසන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති යැයි සිතන බවත්ය.
රටපුරා පසුගිය දින කීපයේදී පැවැති වර්ෂා සහ සුළං සහිත කාලයගුණය හේතුවෙන් වූ විදුලිය බිඳවැටීම් තව දුරටත් ප්රස්ථාපනය කරමින් ඇති බවත් සෙසු වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන ‘අකුරට වැඩ කිරීමේ’ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බිඳවැටීම් යථාතත්වයට පත්කිරීම ප්‍රමාද වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.
මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවේ වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට ද ඇහුම්කන්දීම බලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් බවත් තමන් ද වැටුප් ලබන සේවකයෙක් වීම නිසා ආණ්ඩුවට හෝ අමාත්‍යවරයාට බලපෑම් හෝ ඉල්ලීම් කිරීමේ හැකියාවක් නොමැති බවත්ය.