බෞද්ධ ජනයා කඨින චීවරය ප්රදානය කරනු ලබන පුණ්‍යෝත්සවය වස් පොහෝ දිනයෙන් ආරම්භවේ. වෙසක්, පොසොන්, ඇසළ පුර පසළොස්වක ථෙරවාද සම්ප්රදාය අනුගමනය කරන රටවල,බෞද්ධයන්ට වප්පුර පසළොස්වක පොහෝ දිනය විශේෂ වැදගත්කමක් ඇත.
වර්ෂයකට එක් වරක් එක විහාරස්ථානයක පමණක් කළ හැකි දුර්ලභ ගණයේ පින්කමක් වන මෙම පිංකමට සැදැහැති බෞද්ධයන්ගේ ආරාධනයෙන් ඇසළ පුන් පොහෝ දින සිට මාස තුනක් විනයානුකූලව පෙර වස් විසූ භික්ෂූන් වහන්සේ නමකට පමණක් කඨින චීවරය පූජා කළ හැකිය. එසේ නොවන්නට කඨින පින්කමක් කළ නො හැකිය.
කෙනෙකුට ඇසිය හැකි ප්‍රශ්නයක් නම් කඨින චීවරයක හා වෙනත් චීවරයක පෙනෙන්නට ඇති වෙනසක් නොමැති නිසා මෙය දුර්ලභ ගණයේ පින්කමක් වන්නේ කෙසේ ද යන්නයි. ඒ පිළිබඳව ශාස්ත්‍රපති බම්බලපිටිය වජිරාරාම වාසී ඤාණසීහ හිමියන් සමග කළ සාකච්ඡාවකි.
අතීතයේ සිට මෙම චීවර පූජාව එලෙසම සිදුවනවාද. ?
අතීතයේ නම් පාංශකූලිකව හෝ එදිනම වියා ලබාගත් වස්ත්‍රයක් පඬු පොවා, කඩ කපා මසා පූජා කරන චීරයක වෙනසක් පෙනෙන්නට තිබෙනවා. වර්තමානයේ එවැන්නක් ඉතා විරල දසුනක් වුව ද මාස තුනක් පේ වී ලබා දෙන නිසා වෙනසක් නැත්තේම නොවේ.
වස් මාස තුන තුළ වස් ආරාධනයෙන් වස් විසූ භික්ෂූන් වහන්සේට ඇප උපස්ථාන කොට ධර්ම දේශනා පවත්වා, අසා හා ධාර්මිකව ජීවත් වීමෙන් විශාල කුසල සම්භාරයක් රැස් කර ගත් වස් ආරාධනා කළ ගිහි උපාසක පිරිසගේ අභිප්රායයන් මල් ඵල ගන්නේ, වස් පොහෝ දිනෙන් ආරම්භ වී ඉල් පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වන කඨින චීවර පුණ්යෝත්සවයෙනුයි. කඨින චීවරය සංකේතයක් පමණි. එකම අරමුණක් ඇති ව පොදුවේ දායක පින්වතුන් සියලු දෙනා ම සම්බන්ධ වී ලබන එක ම පින්කම මෙයයි.
බෞද්ධයන් සිටින වෙනත් රටවලත් මෙම කඨින චීවරය පූජාව එළෙස සිදුවනවාද?
පෙර රජ දවස රජවරුන්ගේ අනුග්‍රහයෙන් සිදු කරන ලද විශේෂ පින්කමක් ලෙස ද වප් පොහෝ දිනෙන් ඇරඹෙන කඨින පුණ්‍යෝත්සවය සැළකිය හැකියි. ශ්‍රී ලංකාවේ නැතත් තායිලන්තය වැනි බෞද්ධ රටවල රජතුමා ගේද සහාය හා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කඨින පින්කම පැවැත්වෙනවා. චිත්රලඩාරා රජමාළිගා තොටුපළේ සිට වාඕප්රයා නදිය හරහා වට්අරුන් විහාරස්ථානයට රාජකීය නෞකාවෙන් සෙසු නෞකා පිරිවරාගෙන කඨින චීවරය අතැතිව රජතුමා යෑම දැනු දු දැක ගත හැකියි
මේ හැරෙන්නට අප තථාගතයන් වහන්සේගේ හත්වන වස් කාලය තුළ තව්තිසා දෙව්ලොව වැඩ සිට මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන සියලු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කොට සංකස්ස නගරයට මහපෙළහර පාමින් වඩින ලද්දේ වප් පොහෝ දිනය වීම විශේෂත්වයක්. දඹදිව වන්දනා ගමනක යන කෙනෙකුට එම ස්ථානය වැඳ පුදා ගන්නට පිළිවන්.
ලංකා බෞද්ධයන්ට මෙහි ඇති වැදගත්කම මොකක්ද?
ලංකා බෞද්ධ ඉතිහාසයේ ද වප් පොහෝ දිනයට වැදගත්කමක් තිබෙනවා. ඒකට හේතුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇති ව දෙවනපෑතිස් රජතුමා විසින් ධර්මාශෝක අධිරාජයා වෙත සඟමිත් තෙරණින් වහන්සේ භික්ෂූණී ශාසනය ලංකාවේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ්‍රීලංකාවට වැඩම කරන මෙන් කරන ලද ඉල්ලීම පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමග සඟමිත් තෙරණියෝ ශ්‍රී ලංකාවට වැඩම වීමට තීරණය කිරීම හා එම දක්ෂිණ ශාඛාව අනායාසයෙන් සිඳී රන් තටාකයේ පිහිටා සිටියේ වප් පොහෝ දිනක විමයි.
ඒ නිසා වප් පුර පසළොස්වක දිනය ලක්වැසි බෞද්ධයෝ විශේෂ වැදගත්කමක් ඇති පොහෝ දිනයක් ලෙස සැලකිය යුතුයි.