මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැදී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
එම දරුවන් අතර පිරිමි දරුවෝ 20 දෙනෙක් සහ ගැහැණු දරුවෝ 27 දෙනෙක් සිටිති.
ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (27) දින දක්වා ගත වූ මාස 9 ට කාන්තාවෝ 1483 ක් බන්ධනාගාර ගත කර සිටිති.
එම කාන්තාවන් අතරින් 229 දෙනෙක් වරදකරුවන්වූ සිරකාරියෝ වෙති.
ජනවාරි මස 1 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ගතවූ මාස 7 ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලද කාන්තාවෝ සංඛ්‍යාව 184 දෙනෙකි.
ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 75 ක්, හෙරොයින් සම්බන්ධයෙන් 97 ක්, ගංජා සම්බන්ධයෙන් 8 දෙනෙක්, අබිං සම්බන්ධයෙන් එක් කාන්තවක් සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 3 දෙනක් වෙති.
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ බන්ධනාගාර මූලස්ථානයෙන් කළ ඉල්ලීමකින් පසුව මෙම තොරතුරු අනාවරණය විය.
පසුගිය වසරේ විවිධ වැරැදි සම්බන්ධයෙන් සිරගත කර සිටි කාන්තාවන් සංඛ්‍යාව 885 ක් වන අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් කාන්තාවෝ 369 ක් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියහ.
ඔවුන් අතරින් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 138 ක්, හෙරොයින් සම්බන්ධයෙන් 199 ක්, ගංජා සම්බන්ධයෙන් 17 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 14 දෙනෙක් ද වූහ.
ඉකුත් වසරේ විවිධ වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවන් 655 ක් බන්ධනාගාර ගත කර තිබූ අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවෝ 278 ක් සිරගත කරනු ලැබ සිටියහ.
ඊට අමතරව අවිවාහක කාන්තාවන් 98 දෙනෙකු ඉකුත් වසරේ බන්ධනාගාර ගත කර තිබූ අතර ඉන් 65 දෙනෙක් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලැබූවෝ වූහ.
කෙසේ වෙතත් ඉකුත් වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව එක් සිරකරුවකු සදහා රජය දිනකට ආසන්න වශයෙන් රුපියල් 1,411 ක් වියදම් දරන අතර එක් සිරකරුවකු වෙනුවෙන් වසරකට ආසන්න වශයෙන් රුපියල් 516,352 ක මුදලක් වැය කරන බවද අනාවරණය වී ඇත.
එක් සිරකරුවකුගේ දිනක ආහාර වේල වෙනුවෙන් රුපියල් 697 ක මුදලක් ද, වසරක් සදහා රුපියල් 255,174 ක මුදලක් ද ඉකුත් වසරේ රජය වැයකර ඇති බවද සදහන්වේ.
බන්ධනාගාර මූලස්ථානයෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙරට වැඩිම ජන සංඛ්‍යාවක් අදහන ආගමට අයත් පුද්ගලයන් 18,179 ක් ඉකුත් වසරේ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිරගත කරනු ලැබ සිටිති.