වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවා ලබාදීමේදී ඇතැම් රජයේ නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම ඊයේ (26) පැවසීය.
පරීක්ෂණයට මුහුණ දී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට පැමිණි පුද්ගලයකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත් අඩංගුවට ගත් එම කාර්යාලයේ රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ නිලධාරියෙකු සහ පුද්ගලික ආරක්ෂක අංශ සේවිකාවක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිෂම එසේ පැවසීය.
රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ කැලුම් ප්‍රියංකර සිරිසේන සහ ජීවමාලී නමැති සැකකාරිය මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ 2024 වර්ෂයේදී ලැබුණු පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවටයි ගත් බවය.
අල්ලස් කොමිසම මෙසේද පැවසීය.
මෙම කාර්යාලයේ අල්ලස් ලබා ගන්නා බවට ලිඛිතව පැමිණිලි ලැබී තිබෙනවා.ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ගිය පුද්ගලයෙකුට සේවාව ලබා දිය හැකි බවට දෙවන සැකකාර කාන්තාව පවසා තිබෙනවා.
පුද්ගලික ආරක්ෂක අංශයක සේවය කළ ඇය පළමු සැකකරුට දුරකථනයෙන් කතා කොට ගෙන්වාගෙන සේවාව ලබාදීම සඳහා රුපියල් එකොළොස් දහසක අල්ලසක් ඉල්ලා ඇති අතර පසුව දස දහසක් ලෙස අඩුකර ලබා ගැනීමේදී අත්අඩංගුවට ගැනීම සිදුකළා.
මෙම කාර්යාලයේ තවත් පුද්ගලයින් මීට සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන එබැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොමිසම ඉල්ලා සිටියේය.
දෙවන සැකකාරියට නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර කැලුම් ප්‍රියංකර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ සැකකරු කිසිදු අල්ලස් මුදලක් ඉල්ලා සිටීමක් හෝ ලබා ගැනීමක් කර නොමැති බවය.
එබැවින් සැකකරුට ඇප දෙන ලෙසට ද ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙවැනි සැකකාරිය එම කාර්යාලයට අනුයුක්ත රජයේ නිලධාරිනියක නොවුණද විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් සැකකරුවන් දෙදෙනා ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.