මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
“මේ වන විට රටේ ආර්ථික ස්ථායීකරණයේ ප්‍රතිඵල පෙනෙමින් තිබෙනවා. ආර්ථික වර්ධනයක් ඇතිවෙමින් තිබෙනවා. මේ බිඳ වට්ටපු රටක්.අපට ලැබුණේ බිඳ වැටුණු ආර්ථිකයක්.ඉලක්ක අභිබවමින් ආර්ථිකය වර්ධනය කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.
ඒ කියන්නේ අපට ආයෝජන එමින් තිබෙනවා.ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා කැපී පෙනෙන දෙයක්.අපේ ආණ්ඩුව සත පහක මුදල් අච්චුගැහීමක් කර නැහැ . ආර්ථික ක්‍රියාවලිය වර්ධනය වෙලා.
රුපියල් බිලියන 450ක් අප වාහන ආනයනයෙන් මේ වසරේදි බලාපොරොත්තු වුණා. නමුත් මේ වනවිට ඒ ඉලක්කය අභිබවා ගොස් තිබෙනවා.දුප්පත් කම තුරන් කිරීම සඳහා අප විශේෂ වැඩසටහන් සකස් කරමින් සිටිනවා.එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර මෙන්ම දූෂණය පිටු දැකීම සාර්ථක තත්ත්වයේ තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.