තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී පොහොර ලබා දීමේදී QR කේතයක් ලබා දීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබා ගෙන ඇති බවත් ඒ අනුව එහි පළමු අදියර මෙම මස 26 වැනිදා මතුගම ප්‍රදේශයේදී මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවය.
ඒ අනුව ඉදිරියේදී ලබා දෙන රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,
“අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ගත්තා පොහොර ලබා දීමේ නව ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒ වගේම අපේ තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000ක මුදලක් මේ 2025 අවුරුද්දට තේ පොහොර සහනාධාරය ලබා දෙන්න අපි වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් 75%ක් ඉන්නේ කුඩා තේ වතු හිමියෝ. ඔවුන් ඉලක්ක කරලා රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාර ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා ඒක QR කෝඩ් එකක් මගින් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට රජයේ පොහොර සහනාධාරය ඇතුළු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් පොහොර සහනාධාරය ලබා ගැනීමේ හැකියාවත් එක්ක අපි මේ මාසේ 26 වැනිදා කළුතර, මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේදී ගොවියන්ට මේක ලබා දෙමින් මේ අවුරද්දේ ඉතා ඉක්මනින් තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා.