වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති සහ සයිටිස් ( CITES ) සම්මුතියේ වගන්ති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස සර්පයන් 06 දෙනෙකු රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගී කාන්තාවක් ඊයේ (11 ) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ලැබී තිබූ බුද්ධි තොරතුරු මත අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය කොළඹ , කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .
ඇය මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් ඔතා සගවා ගෙන තිබුණි .කහ ඇනකොන්ඩා ( Yellow Anaconda ) , බෝල් පයිතන් ( Ball Python ) ,
ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් ( Speckled King Snake ) සහ හොන්ඩියුරානු කිරි සප්පයා ( Honduran Milk Snake ) යන වර්ග වල සර්පයන් 06 දෙනෙකු මෙම කාන්තාව විසින් රැගෙන විත් තිබුණි .
මෙම සර්පයන් අලෙවි කිරීම සදහා ඇය රැගෙන විත් තිබූ අතර , ඔවුන් මිළදී ගෙන මද කළක් ගිය පසු විශාල ශරීර ඇති සර්පයන් බවට පත් වීමත් සමගම , ඔවුන් තවදුරටත් සිය නිවෙස් වල තබා ගැනීමට අසීරු වීම නිසා , මෙරට වනාන්තර සහිත ප්‍රදේශ වෙත මුදා හැරීම සිදු කිරීම නිසා , මෙරට පරිසර පද්ධතියට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව රේගු නිලධාරීහු පැවසූහ .
එසේම ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර , මේ පිළිබද ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් රේගු පරිශ්‍රය වෙත කැදවා දැඩි ලෙස අවවාද කර , රේගු විමර්ශන වලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ( Re Export ) ලෙසද රේගු නිලධාරීහු නියෝග කළහ .
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට විශාල වශයෙන් ගෘහාශ්‍රිතව සර්පයන් ඇති කිරීම සිදු වන අතර , ඔවුන්ගේ ආහාර පිණිස සුදු පැහැති කුඩා මීයන් විශේෂයක් ද , විශාල වශයෙන් මෙරටට ආනයනය කෙරෙමින් පවතින බව රේගු නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බවද රේගු නිලධාරීහු වැඩිදුරටත් පැවසීය .