අරගල සමයේ විනාශයට පත් කළැයි කියන මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 1/2 ක වන්දි ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම ඔක්තෝබර් 02 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (04) නියම කළාය.
ඇප අයැදුම්පත සම්බන්ධයෙන් එදින කරුණු තහවුරු කරන ලෙස විනිසුරුවරිය නියම කළාය.
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කර ඇති ඇප ඇයැදුම්පතේ වගඋත්තරකරු වශයෙන් අල්ලස් කොමිසම නම් කර ඇත.
සෙවනගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2023 වසරේ සිදුවු අරගලය අතරතුර කිසියම් පිරිසක් විසින් විනාශයට පත් කිරීමෙන් පසු හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළට වු හානිය වෙනුවෙන් රුපියල් 88,50000/- ක වන්දි ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 06 වැනිදා අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තමන් රිමාන්ඩ් බාරයට පත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇත.
තමන්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම අගෝස්තු 12 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ශේප කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටී.
ත්පත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ඔක්තෝබර් 02 වැනිදා යළි කැඳවීමට නියම කළාය.