බීමත්ව රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (04) නිකුත් කළේය.
තමන්ට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නීතිඥ චන්දන පෙරේරා මහතාගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් 2023 ඔක්තෝබර් මස සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව වැල්ලවත්ත පොලීසිය විසින් බීමත්ව රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදාහැරීමෙන් පසු තම සේවාදායකයාට එරෙහිව බීමත්ව රිය පැදවීමේ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ බව පොලිසිය මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නත් එවැනි උපදෙසක් නීතිපතිවරයා අධිකරණයට එවා නොමැති බව පවසමින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට මහේස්ත්‍රාත්වරිය තීරණය කර ඇති බවත් සඳහන් කළ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මහේස්ත්‍රාත්වරියගේ එම වැරදි සහගත ක්‍රියා කලාපය තුළින් තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම නඩුව වෙනත් අධිකරණයට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙත්සම් විභාගය අවසන් වන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාග කිරීමට තීරණය කරමින් වැලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොවැම්බර් 25 වැනිදා නොතිසි නිකුත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල විරෝධතා ඇත්නම් ලබන 23 වන දා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.