උතුරට යළි ජීවය කැටුව එමින් ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුදුකුඩුඉරුප්පුවේදී ඊයේ (2)පැවැසීය.
ජනාධිපතිවරණයේදී ජනතාව වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ බව කී ජනාධිපතිවරයා ඔවුන් ජයග්රහණය කරා ඉදිරියට ගෙන යන අතර උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” තේමාව යටතේ පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂා සහ සංස්කෘතික අයිතිය සුරැකීම මෙන්ම අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද රජය කැප වී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.
රජයේ අරමුණ රට තුළ ජාතික සමගිය නිර්මාණය කිරීම බවත්, ඒ වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කිසිදු පැකිළීමකින් තොරව ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.