මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවල් වලින් ගොඩගෙන ඇති ඇටසැකිළි සහ පුද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේදී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
තවමත් පසුගිය කාලෙය්දී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අත්වූ ඉරණම පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවත් නිශ්ශබ්දතාව, ක්‍රියාමාර්ග නොගැනීම සහ බලය භාවිත කළ මානව හිමිකම් කඩකළ පුද්ගලයන් දඬුවම්වලින් පළා යාම හේතුවෙන් දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇති වූ තුවාලය තවමත් සුවවී නොමැති බවත් ෆ්‍රැන්චේ මහතා පැවැසුවේය.
තම ආදරණීයයන්ට අත්වූ ඉරණම පිළිබඳව කිසිම තොරතුරක් නොලැබීම හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ පවුල් විඳින වේදනාව කාලයට සුවපත් කළ නොහැකි බවත් සත්‍ය සහ යුක්තිය ප්‍රමාද වීමෙන් එම වේදනාව තවත් වැඩිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සමූහ මිනීවළවල්වලින් ගොඩ ගැනුණු ඇටසැකිළි පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් එම පවුල්වලට සහනයක්, යුක්තියක් සහ සංහිඳියාවක් ලබා ගැනීමට මාර්ගයක් විවර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතයා පැවැසුවේය. එසේම ඉන් ශ්‍රී ලංකාවට ඇතිවී තිබෙන තුවාලය සුවපත් කරගෙන ඉදිරිය දෙස බැලීමටද අවස්ථාවක් උදාවනු ඇතැයි ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.
අනුස්මරණ කටයුතුවලදී ඇතුළුව වින්දිතයින්, ඔවුන්ගේ පවුල් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිළිබඳව සිදු කෙරෙන නිරීක්ෂණය කිරීම්, තර්ජනය කිරීම්, බිය ගැන්වීම් සහ පළිගැනීම් පිළිබඳවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය යොමුව තිබෙන බව ඔහු පැවැසුවේය. තම අයිතිවාසිකම් භුක්ති විඳින්නන්ට දඬුවම් නොකළ යුතු බවත් ඔවුන් ආරක්ෂා කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා ප්‍රකාශ කළේය.
පෙරේදා (30) දිනට යෙදුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.