හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී ඊයේ (27) පැවසීය.
නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින් උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය.
“ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒවා අපි ඉතිහාසයේ දැක්කා. විසිවන සංශෝධනය සහ ඉන් පසු ඇති කරන ලද සංශෝධනයන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයන් දක්වා ගෙනයාමේ අරමුණු ඉලක්ක කර ගනිමින් වෙච්ච දේවල්. මේකෙ එවැනි දෙයක් නෙමෙයි.
මෙවැනි සිදුවීම් ගණනාවක් මේ දිනවල සිදුවනවා. රජයේ නිලධාරීන් දේශපාලනඥයන්ට කියලා තරාතිරම නැහැ. සැමට නිතිය සමානයි. දැනට රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරන අයත් මෙවැනි චෝදනාවලට ලක්වෙච්ච අයටත් අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. එහෙම නැතුව ඊට අමතර කිසි දෙයක් මෙතන නැහැ.