පානදුර නගර සභාව යටතේ පාලනය වන පිහිනුම් තටාකය එහි සේවකයන් නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු එම පිහිනුම් තටාකය පාවිච්චි කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
කුඩා දරුවන් පාවිච්චි කරන කුඩා පිහිනුම් තටාකය පිරිසිදු නොකිරීම හේතුවෙන් එයට ගස්වල කොළ, මල් සහ රොඩු වැටීමෙන් දැඩි අපිරිසුදුසු තත්වයට පත්වතිබියදීත් එහි සේවය කළ නගර සභා සේවකයා පිහිනුම් තටාකය පිරිසිදු කිරීම ප්‍රතික්ෂේප කළ බවත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නම් නගර සභා කාර්යාලයට දැනුම් දිය යුතු බවත් සේවකයා පැවසූ බව එම ස්ථානයේ සිටි කීපදෙනෙක් පැවසූහ.
කුඩා පිහිනුම් තටාකය පැයක කාලයක් පාවිච්චි කිරීම සඳහා කුඩා දරුවකුගෙන් පානදුර නගර සභාව රුපියල් 130 ක මුදලක් අය කරන බවත් එවැනි මුදලක් අයකර අපිරිසුදු තටාකයක දරුවන්ට පිහිනීමට සැලැස්වීම කණගාටුදායක බවත් දෙමව්පියෝ පවසති.
පීනුම් තටාකය වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන සේවකයන් නිකුත් කරන ඇතැම් ප්‍රවේශ පත්‍රවල දින දෙකක නිල මුද්‍රා සටහන් කර තිබෙන බව කියන දෙමව්පියෝ ප්‍රවේශපත් නිකුත් කිරීමේදී වංචාවක් සිදුවන බවට සැක කළ හැකි බව ද සඳහන් කරති.
ඒ පිළිබඳව ඔප්පු කිරීමට තමන් සතුව සාක්ෂි ඇති අතර නගර සභා පිහිනුම් තටාකයේ ප්‍රවේශපත් නිකුත් කරන ඇතැම් සේවකයන්ට මීට පෙර ද ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් පීනුම් තටාකය ප්රයෝජනයටයට ගන්නා පුද්ගලයන්ට බැණ වැදීම ආදී චෝදනා එල්ල වී ඇතැයි දැනගන්නට ඇති බවත් පානදුර නගර සභාවේ වර්තමාන පරිපාලනය ඒ සඳහා අවධානය යොමු කළ යුතු බවත් දෙමව්පියෝ කියති.
පිහිනුම් තටාක පිරිසිදු කිරීමේ නිත්‍ය සේවකයා අළුයම 5.00 සිට පස්වරු 1.00 දක්වා දෛනිකව සේවය කරන අතර ඉන්පසුව ප්‍රවේශ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යයේ නිරතවන සේවකයා පිරිසිදු කිරීමේ කටයුතුව ඉටු කළ යුතුව බව මේ පිළිබඳව කළ විමසුමකදී පානදුර නගර සභා කාර්යාලය උසස් නිලධාරියෙක් පැවසීය.
නගර සභා පිහිනුම් තටාකයේ මෙම කණගාටුදායක තත්වය පිළිබඳව පානදුර නගර සභාවේ සභාපති හේමකුමාර ප්‍රේරා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි තත්වයක් පිළිබඳ තමන් දැනුවත්ව නොසිටි අතර ඒ පිළිබඳව දැනුවත් කිරීම ගැන ස්තුතිය පුද කරන බවත් මෙම සිද්ධිය පිළිබඳව වහාම ක්‍රියාත්මකව පරීක්ෂණයක් ආරම්භ කරන බවත්ය.
එකම ප්‍රවේශ පත්‍රයේ දින දෙකක මුද්‍රා කිසිදු ලෙසකින් සටහන් විය නොහැකි බව කී සභාපතිවරයා ඒ පිළිබඳ ද වහාම පරීක්ෂණයක් කරන බව ද සඳහන් කළේය.