එක්සත් රාජධානියේ පදිංචිව සිටි ශ්රී ලාංකික තරුණියක වේල්සයේ අගනුවර වන කාර්ඩීෆ් නගරයේදී පසුගිය 21 වැනිදා ඝාතනය කර ඇත.
නිරෝධා කල්පනී නිවුන්හැල්ල නමැති 32 හැවිරිදි තරුණියක එසේ ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
නිරෝධා දැඩිව තුවාල ලබා කාර්ඩිෆ් නගරයේ රිවර්සයිඩ් ප්රදේශයේ මාවතක වැටී සිටියදී පසුගිය 21 වැනිදා එරට වේලාවෙන් උදෑසන 7.37 ට පමණ හදිසි ප්රථමාධාර ලබාදෙන්නන් ඇයව සොයාගෙන ඇති අතර එහිදී ප්රථමාධාර ලබා දෙන්නන් ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩිව උත්සාහ කර ඇතත් එම සියලු උත්සාහයන් අසාර්ථක වී තිබිණි.
ඇයගේ මරණයට සැකපිට කාර්ඩිෆ් නගරයේ පෙන්ට්වින් ප්රදේශයේ වෙසෙන 37 හැවිරිදි ශ්රී ලාංකිකයකු සවුත් වේල්ස් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
නිරෝධා දැඩිව තුවාල ලබා වැටි සිටි මාර්ගයට ආසන්න මාර්ගයක සිටියදී සැකකරුව එලෙස පොලිසිය අත් අඩංගුවට ගනු ලැබ ඇත.
නිරෝධාගේ මියයාමත් සමග ප්රදේශයේ නිවාස එකින් එකට ගොස් සිද්ධිය පිළිබඳව ප්රදේශවාසීන්ගෙන් විමසා ඇති අතර සිද්ධිය පිළිබඳව තොරතුරු වෙතොත් ඉදිරියට පැමිණෙන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි.