උග්‍ර ආර්ථික ගැටලු හේතුවෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ මෝටර් රථ සහ යතුරුපැදි ඇතුළු විවිධ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් කලට වේලාවට නඩත්තු කර පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් නිවෙස් වල සහ ගරාජවල දිරාපත් වෙමින් පවතින බව වාහන නඩත්තු සේවා ආයතන සහ මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම දුම් සහතික ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යෑම හේතුවෙන් ආදායම් බලපත්‍ර ගැනීමට නොහැකිවීමෙන්ද වාහන විශාල ප්‍රමාණයක් නිවෙස් වලින් පිටතට ගැනීමට පවා නොහැකි තත්වයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
තවද නිසි කලට නඩත්තු සහ සේවා පහසුකම් ලබාදීමට නොහැකි වීමෙන්ද වාහන දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අක්‍රියවී පවතින බව වාර්තාවේ.
රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් දුම් සහතික ගාස්තු රක්ෂණ ගාස්තු සහ ආදායම් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී යම් සහනයක් ලබාදීමට වහා මැදිහත් විය යුතු බවත් වාහන හිමිකරුවෝ පිරිසක් අප සමග පැවසූහ.
වාහන ඇති සාමාන්‍ය මැද පන්තියේ ජනතාවගෙන් වැඩි දෙනෙකු සිය වාහනවලට ආදායම් බලපත්‍ර සාදා ගත්තේ සහ සේවා පහසුකම් ලබා දුන්නේ තමන් රාජකාරී කරන ආයතන වලින් ලැබුණු ප්‍රසාද දීමනා සහ වෙනත් දීමනාවලින් බවත් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් බොහෝ ආයතනවල එම දීමනා කප්පාදු කර ඇති තත්ත්වය යටතේ වාහන නඩත්තුව සඳහා එසේ අමතර මුදලක් වෙන් කිරීමට නොහැකි වීමෙන් මෙම ගැටලුව මතුව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම පවතින ආර්ථික තත්වය හමුවේ නඩත්තු කිරීමේ හැකියාව අහිමිවීමෙන් වාහන ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාල සීමාවේදී වෙනත් පුද්ගලයන්ට විකුණා ඇතැයිද මූල්‍ය සහ කල්බදු සේවා ආයතන අනාවරණය කළේය.
මේ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ මධ්‍යම පන්තියේ ජනතාවට වාහන පාවිච්චි කිරීමේ හැකියාව අවම වෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ ප්‍රකාශ කරති.