දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
දසවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසිදෙනෙක් සිය පක්ෂයෙන් තේරී පත්වීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද කාන්තාවන් බල ගැන්වීමේ ක්රියාදාමයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය එය පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ගෙනයාම මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ බව ප්‍රකාශ කලාය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ලාංකීය දේශපාලනයේ කාන්තාවන්ට සමාන අවස්ථාවන් සහ සම සහභාගීත්වයක් ලබාදීම සඳහා පොදු අදහස් ලබා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
අන්තර්ජාලය සහ සයිබර් අවකාශය තුළ කාන්තාව දේශපාලනයේ නියැලීම අවමානයට පත්කිරීම, ලැජ්ජාවට ලක් කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම යන කරුණු හේතුවෙන් කාන්තාව දේශපාලනයේදී ක්‍රියාකාරීව නියැලීම අභියෝගයක් බවට පත්ව ඇති බව සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
එනිසා කාන්තාවන්ට ක්‍රියාකාරීව දේශපාලනයේ නියැලීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සහ යෝග්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සියළු පක්ෂවල වගකීම බවද ඇය සඳහන් කළාය.