පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක( පරිපාලන වැඩබලන සහ මධ්‍යම පළාත් භාර) සංජීව ධර්මරත්න ( බස්නාහිර පළාත් බාර ) රන්මල් කොඩිතුවක්කු( අපරාධ සහ රථවාහන) කිත්සිරි ජයලත්(දකුණු පළාත)සහ රාජිත ශ්‍රී දමින්ද( සහායක සේවා) එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙති.
ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රබල දේශපාලනඥයන් සහ නායක ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් පොලිස්පති ධූරය ගැනීමට ප්‍රබල උත්සාහයක මේ දිනවල නිරතව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දැනට කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පති ධූරය දෙන ලෙස ඇතැම් පාර්ශව රජයෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් පොලිස්පති ධූරයට පත් කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ලබන 5 වැනිදා විවාදයට ගැනීමට නියමිත අතර එහිදී එම යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙනු ඇත.
තෙන්නකෝන් මහතා එසේ ඉවත් කෙරුණහොත් පොලිස්පති ධූරය සඳහා සුදුසු නාමයක් කඩිනමින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.