අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර, තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීරණය කළේය.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු මස 07 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය නියම කර ඇත.
මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් එය මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේය.
එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු මහෙස්ත්රත්වරිය විසින් ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මහෙස්ත්රත්වරියගේ මෙම නියෝගය ඇප පනතේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ඒ අනුව එය ප්‍රතිශෝධනය කර තම සේවාදායකයා ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙම පෙත්සමට අදාළ නොතිසි නිකුත් කර විභාගයක් පවත්වනතුරු තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය වගඋත්තර කරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීන්දු කළේය.
ඒ අනුව පෙත්සම යළිත් අගෝස්තු මස 07 වෙනිදා කැඳවීමට නියමිතය.