චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කර ඇත.
2020 වසරේ කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණින් සහ 2020 වසරේ ජුනි මාසයේ ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු ගැටුම් දුරදිල යෑම හේතුවෙන් ඉන්දීය රජය, චීන වැසියන්ට සංචාරක වීසා අත්හිටුවීමට තීරණය කර තිබුණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වසර 5කට පසුව යළි චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම ඊයේ (24) සිට ආරම්භ කෙරුණු බවය.
චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පතක් යොමු කිරීම මගින් වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවය.
ඉන්දියාවත් චීනයත් අතර හටගෙන ඇති අර්බුදය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතී. පසුගිය දා ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර්, චීනයේ සංචාරයක නියැලුණි. ඒ, ෂැංග්හායි ආර්ථික සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. එම සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද සාකච්ඡා පැවැත්විණි.