දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 50,000ක මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ,ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන සැකකරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විමර්ශනවලට සහාය ලබා දිය යුතු බවටත් සැකකරුට නියෝග කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරණු දක්වමින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නිසා ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව සඳහන් කළේය.
ඔහු පාසල් යාම ආහාර පාන ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බවත් නීතිඥවරයා පැවසුවේය.
මෙය සුවිශේෂී කරුණක් සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර නඩුව නැවත දෙසැම්බර් මස 05 වන දා කැඳවීමටද නියම කළේය.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
පැමිණිලිකරු දෙමටගොඩ, කොළොන්නාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයතනයක් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා බදු නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී පසුගිය වසර සඳහා රුපියල් එකොලොස් ලක්ෂයක බදු හිඟ ගෙවීමට තිබෙන බව සැකකරු විසින් පැමිණිලකරුට දන්වා තිබෙන බව අල්ලස් කොමිසම පවසයි.
රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන්නේ නම් එම හිඟ බදු මුදල ඉවත් කර දිය හැකි බවට සැකකාර කොමසාරිස්වරයා පැමිණිණිලිකරුට දන්වා ඇති අතර පැමිණිලිකරු එම ඉල්ලීමට එකඟතාවය පළ කරමින් එම අල්ලස් මුදල රුපියල් 50,000/- දක්වා අඩු කරගෙන තිබේ.
පසුව අදාළ දෙපාර්තමේන්තු කාර්යාලයේදී අදාළ අල්ලස් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.