රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගැනීම සාධනීය පියවරක් ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව සැලකුවද, අවශ්‍ය වන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාරව අපරාධ නඩු පැවරීම බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසයි.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ අදහස් පළ කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.
2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයර්ධන මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් නෙරපීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගියදා තීරණය කර තිබුණි.
ඒ ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව ඔහුට එරෙහිව සිදු කරනු ලැබු විනය පරීක්ෂණයේදී චෝදනා පත්‍රයේ තිබූ සියලු චෝදනාවලට ඔහු වරදකරු වී තිබීම හේතුවෙනි.
අදාළ තීරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීමට කතෝලික සභාව ඊයේ (20) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවූවා.
මේ අතර අද (21) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ද නිලන්ත ජයවර්ධන සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය යළි පැහැදිලි කර ඇත.
කොළඹ අගරදගුරු ගරු සිරිල් ගාමිණි පියතුමා
” නිලන්ත ජයවර්ධන මහත්මයාගේ සේවය, ඒ මහත්මයව පොලිසියෙන් පහ කරලා තියෙනවා කියන එක. ඒක සිදු කරලා තියෙන්නේ පොලිස් කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති මූලික අයිතිවාසිකම් පෙත්සමේදී. තීන්දුවේ සඳහන් වෙනවා පැහැදිලිව නිලන්ත ජයවර්ධනට විරුද්ධව විනය පරීක්ෂණයක් කළ යුතුයි කියලා. අපේ කතෝලික සභාවේ ස්ථාවරය වෙන්නේ දැන් මේ විනය ක්‍රියාමාර්ගය අරගෙන ඒ අනුව තීරණයක් අරගෙන තියෙන එක ගැන අපි සතුටුයි. නමුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙත් ඒ නිර්දේශයේ තියෙන්නේ නිලන්ත ජයවර්ධන මහත්මයට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදනවලට අනුව අපරාධ නඩුවක් පවරන්නට ඕනේ කියන එක. ඒ නිර්දේශය කරලා තියෙන්නේ නීතිපතිවරයාට. මුල ඉදන්ම අපි කියන දේ තමයි මේ නිර්දේශය විතරක් නෙමෙයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් දීලා තියෙන නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කරන්නට කියන එක”