පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි සැකකරුවෙකු ලිදුල පොලිසිය මගින් ඊයේ (17) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුවිය ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ දමිළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබන (15) හැවිරිදි සිසුවියක්.
මුහුණු පොත ඔස්සේ හදුනා ගත් තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව එම තරුණයා එම පාසල් සිසුවියට පසුගිය 15 වැනිදා නානුඔය දුම්රිය ස්ථානයට මුණ ගැසීමට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් පසු සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ සැකකරු පාසල් සිසුවිය දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවයි ලිදුල පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
පාසල් සිසුවියගේ මව ගෘහ සේවයට විදේශගත වී ඇති අතර, පියා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා පාසල් සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර නුවරඑලිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි හපුතලේ ප්‍රදේශයට ගොස් සැකකරු සමග පාසල් සිසුවිය මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් සිසුවිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවත්, සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවත්, ලිදුල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා පැවසුවා.