පවතින ක්‍රමවේදයට ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අරඹා ඇති බව කී ජනාධිපතිවරයා එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බව අවධාරණය කළේය.
මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩු වලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවද පැවසීය.
එසේම මහජන දේපළ සොරකමට සමාජයක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීතියට යටත් විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.
විශේෂ අවශ්‍යතා සහිත ප්රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.