නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට ලබාදීම දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුවේ ඉදිරියේදී ඊයේ (3) සිදුවිය
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශය මෙසේ ලබාදෙනු ලැබීය
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් 12ක් ලබා දුන් බවයි.
එසේම සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට ඊයේ දිනයේදී ලබාදුන් අතර ඉතිරි දිවුරුම් ප්‍රකාශ එළඹෙන කමිටු වාරයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කමිටුවට දැන්වූහ
මේ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ඉල්ලා සිටියේ පෙර එකඟවූ පරිදි සියලු සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ තම පාර්ශ්වයට ලබා දෙන ලෙසයි. පසුව දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 6ක පිටපත් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව කමිටුවේ මතය වූ අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය.
එසේම දිවුරුම් ප්‍රකාශ 2 ක් දෙපාර්ශ්වයටම පහසු දිනයක සහ වෙලාවක පෞද්ගලිකව පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ කියවීමට කමිටුව අවසර දෙන ලදි. තවත් එක් සාක්ෂියක් ලෙස ලබා දී ඇති මාධ්‍ය සාකච්ඡාවක සංයුක්ත තැටියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීමටද පරීක්ෂණ කමිටුව තීරණය කළ අතර නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයෝ එය ලබා දීමට කටයුතු කළහ
මෙම සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම 9 වැනිදා ප.ව. 2.00ට පරීක්ෂණ කමිටුව රැස්වී සිදු කිරීමට නියමිතය.