2025 ලෝක රෑ රුජින කිරුළ දිනා ගැනීමට සමත් වූයේ තායිලන්තය නියෝජනය කළ සුරූපිනියයි. ඇය 22 හැවිරිදි ඕපල් සුචාතා චුවාන්ග්ශ්රී ය. තායිලන්ත සුරූපිනියක්, ලෝක රූ රැජින කිරුළ දිනූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ඕපල් සුචාතා, 2003 සැප්තැම්බර් 20 වැනිදා තායිලන්තයේ ෆුකට් පළාතේ උපත ලැබූ තැනැත්තියකි. ඇගේ පියා සහ මව ව්‍යාපාරිකයන්ය. සුචාතා, කිරුළු පැලයේ ලොව රටවල් 108 ක් නියෝජනය කළ සුරූපිනියන් පරදවමිනි.
2024 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනූ ක්‍රිස්ටිනා සයිකෝවා විසින් සුචාතාට රූ රැජින කිරුළ පැලඳීම සිදු කෙරුණි.
ඕපල් සුචාතා තායිලන්තයේ කැපී පෙනෙන නිරූපිකාවකි. ඇය එරට තාම්මාසත් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ, දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටී.
ලෝක රූ රුජින තරගාවලිය මෙවර පැවැත්වූයේ 72 වැනි වරටය. තරගාවලිය සංවිධානය කළේ ඉන්දියාවය. අවසන් වටය අකි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීය.
ඉන්දියාවේ ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර, 1996 දීත්, 2023 දීත් ලෝක රූ රැජින තරග ඉන්දියාවේ පැවැත්විණි.
අවසන් වටයට තරගකාරියන් 40 දෙනකු සුදුසුකම් ලැබූ අතර, පසුව ඔවුන් අතරින් 20 දෙනකුත්, ඉන්පසු එම 20 දෙනාගෙන් අට දෙනකුත් අවසන් වටයේ දී තෝරා ගැනීම සිදුවිය.
මෙවර තරගාවලියේ දෙවැනි ස්ථානය අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ හැසට් ඩෙරෙජ් ඇඩ්මාසු ද තෙවැනි ස්ථානය යුරෝපා රටක් වන පෝලන්තයේ මායා ක්ලජ්ඩා ද දිනා ගත්හ.