කුෂ් කිලෝග්‍රෑම් 46ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ජුනි 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළාය.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ අනාවරණය වූයේ එම තරුණිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩේලි මෙල් ආයතනය පසුගියදා මුදාහැරි වීඩියෝ පටය තරුණියගේ දැනුවත්භාවයකින් තොරව පටිගත කරන ලද්දක් බවය.
චාලට් මේ ලී නම් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ඉකුත් මැයි 12 වනදා පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබූ එම තරුණියට අයත් ගමන් මලු 02ක තිබී “කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක් හමුවිය.
අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම තරුණිය රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
එවැනි පසුබිමක අදාළ තරුණිය මීගමුව බන්ධනාගාරයේ අඩු පහසුකම් සහිතව රඳවා තබා ඇති බවට බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් වෙබ් අඩවිය පසුගිය 21 වනදා අනාවරණයක් කළේය.
තරුණිය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ මීගමුව අංක 02 අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරතන්න හමුවේ යළි කැඳවූ අතර එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තරුණියව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී විමර්ශන නිලධාරින් විසින් තරුණියගේ ගමන් මලු තුළ තිබී සොයාගත් කුෂ් කිලෝ 46 අධිකරණයට ඉදිරිපත් කළ අතර එය අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙහිදී සැකකාර බ්‍රිතාන්‍ය තරුණිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ සිය සේවාදායිකාව රඳවා ඇති මීගමුව බන්ධනාගාරය වෙත පසුගිය දිනක මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක් ගොස් වීඩියෝගත කර ලොව පුරා ප්‍රචාරය කර ඇති බවය.
එමගින් ඇයට දැඩි අගතියක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සෙයා බලා සුදුසු නියෝග නිකුත් කරන ලෙස නීතිඥවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.
එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ බන්ධනාගාර නිලධාරින් කියා සිටියේ තරුණියගේ හිතවතුන් යැයි කියාගත් පිරිසක් පැමිණ ඇය සමඟ කතා කිරීමට අවසර ඉල්ලූ බැවින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අවසර ලබාදුන් බවය.
එහිදී පැමිණි පුද්ගලයෙකු බොත්තමක් ලෙස තිබූ උපකරණයක් මාර්ගයෙන් තරුණිය සමඟ සාකච්ඡාව පටිගත කර ඇති බව බන්ධනාගාර නිලධාරින් අනාවරණය කර තිබේ.
කරුණු සලකාබැලු මහේස්ත්‍රාත්වරිය සැකකාරිය බැලීමට බන්ධනාගාරයට පැමිණෙන අමුත්තන් පිළිබඳ මීට වඩා සැලකිලිමත් වෙන ලෙස බන්ධනාගාර නිලධාරින්ට අවවාද කළ අතර ඇයව හමුවීමට පැමිණෙන තැනැත්තන් පෙර අවසර ලබාගත යුතු බවටද නියෝග නිකුත් කළාය.