මෙරට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ (Wang Wentao) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙහිදී සඳහන් කළ චීන අමාත්‍යවරයා ආයෝජකයන් 100කට වැඩි පිරිසක් සමඟ සිදු කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බවද පැවසීය.
අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කැප වී කටයුතු කරන බවද චීන වාණිජ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය චීන සංචාරයේදී ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීම චීන වාණිජ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණක් වන අතර චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.