වාහන විෂ දුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ගැටලු කළමනාකරණය ක්‍රමෝපාය යටතේ අධික විෂ දුම පිට කරන වාහන හදුනාගැනීම සඳහා පොලිස් සීසීටීවී කැමරා පද්ධතිය යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සැළසුම් කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, කොමසාරිස් තොරතුරු තාක්ෂණ, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
වාහන වායු විමෝචන භාරකාර අරමුදල රටට ඇති විශාල සම්පතක් වන බවත් වාහන විෂදුම කළමනාකරණය කිරීම හා ඒ සම්බන්ධ කාර්යයන් උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව සතු සීසීටීවී දත්ත ගැනීමට අමතරව මෙම සීසීටීවී කැමරා පද්ධතිය නවීකරණය හා තවත් පුළුල් කිරීමට අවශ්‍ය පූර්ණ සහය වාහන වායු විමෝචන භාරකාර අරමුදල හරහා දීමට ඉදිරියේදී කටයුතු සැළසුම් කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පිවිසීමේ අවසරය පොලිස් දෙපාර්තමේන්තුව වෙත මීට ඉහත ලබා දී තිබූ අතර එය දත්ත පද්ධතිය නිරීක්ෂණය කිරීමට පමණක් සීමා වූ බවත් රියදුරන් කරන මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධව දඩ කොළ නිකුත් කිරීම වැනි කාර්යයන් තවදුරටත් විධිමත් කරනු පිණිස මෙම දත්ත පද්ධතිය හරහා අවශ්‍ය කටයුතු කිරීමේ බලය ද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පොලිස් දෙපාර්තමේන්තුව වෙත සැපයීමට සාකච්ඡා කළ බවත් ඒ මහතා කීය.