පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා.
16 වැනි විජයග්රණයේ සැමරුම වෙනුවෙන් සෑම නිවසකම ජාතික ධජය ඔසවා ඒ වෙනුවෙන් දිවිපිදූ හා කැපවූ අයවෙනුවෙන් ගෞරවය ලබා දෙන ලෙස දේශප්‍රේමී ජාතික පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඝාතනය වීමත් සමඟින් දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර මෙන්ම මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙන්ම යුද්ධයේද නිමාව සනිටුහන් කෙරුණා.
මෙම විජයග්රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් හෙට (19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ පස්වරු 04,00 සිට පස්වරු 06.00 දක්වායි.
දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැද දිවිපිදූ හා අතුරුදන් රණවිරුවන්ට ගෞරවය පිරිණැමීම සදහා වාර්ෂිකව මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනවා.
මේ පිළිබඳව දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාව ඊයේ කොළඹ දී පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන්.
ඊට රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන ද එක්ව සිටියා.