ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පලාගොස් සිටින සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලීසිය ඊයේ (15) අදාළ නිවස වැටලූ අවස්ථාවේදී නිවසේ පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇත.
පොලිසිය පැවසුවේ ඔවුන් පොලිස් රාජකාරියට බාධා කළ බවත් එක් අයෙක් කඩුවක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුට දණහිසින් පහළට වෙඩි ප්‍රහාරයක් එල්ලකළ බවය.
ඒත් සමගම අනෙක් තිදෙනෙකු පලාගොස් තිබුණි.
මීට පෙරද මෙම නිවසේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර තිබෙන බවත් වැටලීම් ද ක්‍රියාත්මක කර තිබූ බවත් පොලීසිය පැවසීය.
කෙසේවෙතත් ඊයේ සවස 5:30ට පමණ පොලීසිය සිදුකළ වැටලීමේදී නීතිවිරෝධි මත්පැන් සොයාගැනීමට හැකිවී නොමැත.
ඒ අනුව 119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා අසත්‍ය තොරතුරක් ලබාදුන්නේද යන්න පිළිබඳවත් තොරතුරු ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමටත් තෙලිකඩ පොලීසිය පියවර ගෙන ඇත.
පොලිස් වෙඩිපහරින් තුවාල ලැබූ සැකකරු සහ සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා ගාල්ල ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් පසුවෙයි.
පොලීසිය තවදුරටත් අනාවරණය කර ඇත්තේ වෙඩි වැදී තුවාල ලැබූ සැකකරුට එරෙහිව බද්දේගම අධිකරණයේ විභාගවන අපරාධ නඩු රැසක් පවතින බවය.