චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට පළිගැනීමක් ලෙස චීනය සිය රටට ගෙන්වන ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 84 දක්වා ඉහළ නැංවීමට අද කටයුතු කළේය.
එසේම ඉන් නොනැවතුණු චීනය ඇමරිකානු සමාගම් හයක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට එකතු කිරීමටත්, තවත් සමාගම් 12 අපනයන පාලන ලැයිස්තුවට එකතු කිරීමටත් කටයුතු කළේය. එලෙස එක් කළ ඇමෙරිකානු සමාගම් මොනවාදැයි ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ චීනය නම් වශයෙන් නිවේදනය නොකළ අතර එරට නීතිය අනුව චීන සමාගම් වලට ලැයිස්තුවට එකතු කළ සමාගම් සමග වෙළඳ කටයුතු සිදු කර නොහැක.
චීන මධ්‍යම රූපවාහිනී නාලිකාවේ සන්ධ්‍යා පුවත් විකාශය අතරතුර නව බදු ප්‍රතිශත සහ ඇමෙරිකානු සමාගම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග චීනය රජය ප්‍රකාශයට පත්කර ඇති අතර ඉන් ආයෝජකයන් දැඩි කණස්සල්ලටත්, කලබලයටත් පත්ව ඇත.
දෙරට අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය හේතුවෙන් ලොව සුපතල ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන මාදිලි ඇමෙරිකාව තුළ නිෂ්පාදනය කිරීමට සිදුවුවහොත් නව ජංගම දුරකතනයක මිල ඇමෙරිකානු ඩොලර් 3500 ක් පමණ වනු ඇතැයි (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 ක් පමණ) ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. එවිට කිසිවෙකුත් අයි ෆෝන් මිලදී නොගනු ඇති බවද ඔවුන් පෙන්වා දුන්නේය. වර්තමානයේ අයි ෆෝන් නිෂ්පාදනය සිදුවන්නේ චීනය පදනම් කරගෙනය.
මෙම ඉරණම ඇමෙරිකාවේ බොහෝ සමාගම්වලට අයත් වනු ඇති බවත් ඇමෙරිකාවේ කුඩා ව්‍යාපාර බොහොමයක් වැසී යනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයන් මේ වනවිටත් බිය පළකර ඇත.
චීන වාණිජ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ ක්‍රියා කලාපයට නිසි පිළිතුරු දීමට චීනය පසුබට නොවන බවත් ඇමෙරිකාව ආරම්භ කළ සටන අවසානය තෙක් අත් නොහරින බවත්ය. තීරු බදු වැඩිකිරීම ඇමෙරිකාවේ ප්‍රශ්නවලට විසඳුම නොවන බව අතීතය සාක්ෂි දරණ බවද එරට වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සියයට 84 දක්වා ඉහළ නැංවීමට ගත් පියවරට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් කියා සිටියේ චීනයේ එම තීරණය ඉතාමත් අවාසනාවන්ත එකක් බවය. චීනය ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට අකමැති වීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් බව භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියෑන් ප්‍රකාශ කර සිටියේ චීනයට අභියෝගයක් එල්ල කළ විට සැමවිටම චීනය නොබියව එයට මුහුණ දෙන බවය. ඇමෙරිකාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහා පනවනු ලබන තීරු බද්ද සියයට 84 දක්වා ඉහළ නංවන බව චීනය නිවේදනය කිරීමත් සමග ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ කඩා වැටීමට ලක්වූ අතර බොරතෙල් මිලද පහළ ගියේය. එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 6.4 කින් ඇමෙරිකානු ඩොලර් 58.80 දක්වා පහළ ගියේය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ඇමෙරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා පනවා තිබූ සියයට 84 ක තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ නැංවීමට පසුගියදා තීරණය කළ අතර එයට පලිගැනීමක් ලෙස චීනයට අමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා පනවා තිබූ සියයට 34 ක තීරු බද්ද සියයට 84 දක්වා ඉහළ නැංවීමට චීන වාණිජ කටයුතු අමාත්‍යංශය තීරණය කළේය. චීනය පැනවූ නව තීරු බද්ද අද(10) මධ්‍යම රාත්‍රී 12.01 සිට ක්‍රියාත්මක විය. ජනපති ට්‍රම්ප්ගේ නව තීරු බද්ද ක්‍රියාත්මක වීමත් සමග ඊයේ(09) දින එක්සත් රාජධනිය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ රාශියක් කඩා වැටුණේය.