ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය.
ඇමෙරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට කරුණු දක්වා තමා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලිපියක් යොමු කළ බව කී අනුර දිසානායක මහතා මේ වන විට එම ලිපිය ධවල මන්දිරයට ගොස් තිබෙන බවට කරුණු වාර්තා වී තිබෙන්නේ යැයිද සඳහන් කළේය.
ඇමරිකාව පනවා තිබෙන බදු තීරණ වල බලපෑම තවම ලංකාවට දැනී නැතත් එම තීරණය ඉදිරියේදී යම් පමණකට ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කිරීමේ අනතුරක් තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
ජාතික උරුමයන් කර පින්නාගෙන තමන්ගේම ආර්ථික න්‍යාය පත්‍රයක් මත දෙපයින් සිට ගනිමින් යළි කුමන සුළි කුණාටුවක් පැමිණියද කඩා නොවැටෙන ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා කොට්ටාවේ පැවති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.