කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප නිවාඩු වාර්තා කර ප්රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කළ දැනුම්දීමට අනුව අධිකරණය මෙම පියවර ගනු ලැබීය.
බලපත්ර නොමැතිව ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් මස 23 වනදා පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ එවකට වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක විසිනි.
අනතුරුව අදාළ කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙස පොළොන්නරුව මහෙස්ත්රාත්වරයා එදිනම නියෝග කර තිබුණි.
පසුව අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී ඇත්තේ අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවටය.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පෙළොන්නරුව මහෙස්ත්රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබු අතර පොලිස්පතිවරයා එම විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාර දී තිබුණි.
එවැනි පසුබිමක සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා කටයුතු කර තිබුණත් සිදුවීමට සම්බන්ධ ප්රධාන සැකකරුවන එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින්ට හැකිව තිබුණේ නැත.