අලුතින් සතොස වෙළඳ මධ්‍යස්ථාන 150ක් පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.
වෙළඳපොළ සමීක්ෂණයක් කර අලුතින් ඉදිකළ යුතු වෙළඳසැල් කුමන ස්ථානවල ඉදිකළ යුතුද යන්න හඳුනා ගන්නා බව ද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව සතොස ආයතනය භාර ගන්නා විට රුපියල් කෝටි 2,200ක පාඩුවක් සිදුව තිබූ බවත් ඇමැතිවරයා පැවසුවේය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
සතොස ආයතනය සතුව වෙළඳසැල් 448ක් තිබෙන අතර ඉන් 252ක් පාඩු ලබන බවත් දේශපාලන පදනම යටතේ සේවකයන් අතිරික්තයක් මේ ආයතනවලට බඳවාගෙන ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
ආණ්ඩුව බලයට පත්ව අතිරික්ත සේවකයන් කිසිවෙක් ඉවත් නොකළ බවද අමාත්‍යවරයා පැවසීය. අලුතින් ඉදි කරන අලෙවි මධ්‍යස්ථානවලට අතිරික්ක සේවකයන් යොමු කරන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සතොස අලෙවිසැල්වල සේවකයන් 259ක්ද, මාතර 86ක් ද සේවක අතිරික්තයක් තිබෙන බවත් ඇමැතිවරයා කීය.
සතොස නිලධාරීන් 22ක් බඳවා ගැනීමට දැන්වීම් පළ කර තිබෙන බවත් 2014 වසරේ සිට රුපියල් මිලියන 350කට ආසන්න බඩු තොග සතොස ගබඩාවලින් පිටව තිබුණත් මේ දක්වා වසර 11ක් තිස්සේ අලෙවි මධ්‍යස්ථානවලට ඒවා ලැබී නොමැති බවත් ඇමැතිවරයා පැවසුවේය.