ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වී මාස කිහිපයක් තුළ තමන්ගේ සිහිනය සැබෑ කර දුන්නා. වත්මන් ජනාධිපති කෙලින් වැඩ කරන අයකු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා අද තංගල්ලේ දී පැවසීය.
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා විසින් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය විහාරාධිපති වීරකැටියේ නාලක හිමියන්ට ප්රදානය කිරීමේ සඳහා පැවැති උත්සවයේදී මන්ත්‍රීවරයා එසේ පැවසුවේය.
බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිප් වෙද ආරච්චි මහතා මෙසේද පැවසීය.
තංගල්ල ඓතිහාසික හේනකඩුව පුරාණ රජ මහා විහාරය දිගු ඉතිහාසයක් තිබෙන තංගල්ල නගරයේ ඇති විහාරස්ථානයක්.
මෙම විහාරස්ථානය පූජා භූමියක් ලෙසට ගැසට් කරන ලෙස එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මම ඉල්ලීමක් කළා. එම ඉල්ලීම එතුමා පිළිගත්තත් දිස්ත්‍රික්කයේ සිටින සමහර ඇමතිවරුන්ගේ බලපෑම මත එය නතර වුණා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙනුත් මම මේ ඉල්ලීම කළා. නමුත් එම ඉල්ලීම ඉටුකරන්න එතුමා පියවර ගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම පන්සල විශාල වැඩ කොටසක් කළා. නමුත් මෙම විහාරස්ථානය පූජා භූමියක් විදිහට නම් කරන්න එතුමා කටයුතු කළෙත් නෑ. ඊට ප්‍රදේශයේ සමහර භික්ෂූන් වහන්සේලා ද හේතු වුණා.නමුත් බලයට පත්වෙලා මාස දෙක තුනක් යන කොටම අනුර කුමාර දිසානායක මහතා හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජාභූමියක් බවට ගැසට් පත්‍රයකින් නීති ගතකළා.
එතුමා පක්ෂ පාට බලන්නේ නැතිව මේ සත්කාරය කිරීම පිළිබඳව මගේ ගෞරවය එතුමාට හිමිවෙනවා. එතුමා කෙලින් වැඩ කරන නායකයෙක් .
වසර දහයකට වැඩි කාලයක් හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත්කිරීම සඳහා වූ ලියකියවිලි මගේ කාර්යාලයේ තිබුණා. මට මේක කරගන්න බැරිව මම විශාල ලෙස පසුතැවිල්ලකට පත්ව සිටියා. මට අද සතුටු කඳුළු එනවා යයිද දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.